මහවැලි කලාප දෙකක් අලුතින් ඇරඹෙයි


(විනීතා එම්. ගමගේ) 

නව මහවැලි කලාප දෙකක් ප්‍රකාශයට පත් කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 
මේ සඳහා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුමැතිය හිමිවී ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. 

නව මහවැලි කලාප දෙක කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26 ක් ආවරණය වන පරිදි ප්‍රකාශයට පත් කරන්නේ මහා පරිමාණ වාරි ව්‍යාපෘති කිහිපයකට අදාළව බව ද හෙතෙම සඳහන් කළේය. 


ඒ අනුව දැදුරු ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය සහිත මිටියාවත ‘එන්’ කලාපය නමින් මහවැලියේ එකොළොස්වැනි කලාපය බවට පත්වන අතර, වයඹ පළාත් මහ ඇළ බළ ප්‍රදේශය ‘එම්’ කලාපය ලෙසින් දොළොස්වැනි මහවැලි කලාපය බවට පත්වන බව ද ඔහු කියා සිටියේය.

 
මෙම මහවැලි කලාප දෙකට ගම්මාන 410 ක් අයත් වනු ඇත. 


ඒ සමගම මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පනහක් මහවැලි අධිකාරියේ සංවර්ධන සැළැස්මට අයත් වනු ඇත.