මහපොළ වසරකින් ප්‍රමාදයි


ඉන්දික හේවාවිතාරණ

මේ වන විට විශ්වවිද්‍යාලවල පළමු වසරට සිසුන් බඳවා ගෙන වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණත් එම පිරිසට මෙතෙක් මහපොළ ශිෂ්‍යාධාර වාරික ලබාදීම ආරම්භ කර නොමැති බවත්, අනෙකුත් ශිෂ්‍ය කණ්ඩායම්වලට පවා මහපොළ වාරිකය හිමිවන්නේ මාස කිහිපයක් ප්‍රමාද වීමෙන් බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට මහපොළ ශිෂ්‍යාධාරය ලබා දෙන බවත්, මහපොළ ශිෂ්‍යාධාර ලබා දීම ප්‍රමාද කිරීම නිසා සිසුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත්, විශ්ව විද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීම පවා ඉදිරි මාස කිහිපය තුළ සිදුකිරීමට නියමිතව තිබෙන බවත්  එම බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.
විශ්ව විද්‍යාලවල ආපන ශලාවලින් අලෙවි කරන ආහාරපානවල ප්‍රමිතිය පිළිබඳව දැඩි ලෙස ගැටලු ඇති වී තිබෙන බවත්, එළවළු වර්ගවලට දුරු, තුනපහ  හා පොල් කිරි යෙදීම නිසි ලෙස සිදු නොකරන බවත්, ආපන ශලාවල බත් සහ පරිප්පු සමග සෝයා මීට් හෝ පොල් සම්බෝල ලබා දෙන බවත් හෙතෙම පැවසීය.


මේ නිසා විශ්ව විද්‍යාල සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙමින් තිබෙන බවත්, මෙම  නිසි පවතින සියලු‍ම් ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසට අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් අදාළ ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.


පවතින ගැටලුවලට විසඳුම් ලබා නොදී නේවාසිකාගාර  පහසුකම්වල ගැටලු පවතින බව පවසමින් විද්‍යාල සිසුන්ගේ වසර හතරක පාඨමාලාවෙන් එක් වසරක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමට සැලසුම් සකස් කරමින් තිබෙන බවත්, මෙම ක්‍රියාවට දැඩිව විරෝධය දක්වන බවත් මධුෂාන් චන්ද්‍රජිත් මහතා පවසා සිටියේය.
ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ නිසි ලෙස අධයාපනය ලබා ගැනීමට විශ්ව විද්‍යාල සිසුන්ට නොහැකි බවත්, මේ නිසා මෙම සැලසුම් අවලංගු කරන ලෙසත් මහපොළ ශිෂ්‍යාධාර වාරික නිසි ලෙස ලබා දෙන ලෙසත්  පවතින අනෙකුත් ගැටලු විසඳන ලෙසත් ඉල්ලා මේ මස 17 වැනි දින විශ්ව විද්‍යාල සිසුන් කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.