මහජන උපයෝගිතා කොමිසමේ රෝත්තකට කෝටි හතරක දීමනා


සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට අදාළ අංශවල අනුමැතියකින් තොරව රුපියල් කෝටි හතරකට වැඩි දීමනා  පසුගිය 2020 වසරේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවේ සඳහන් වන අන්දමට මෙලෙස මුදල් ගෙවා ඇත්තේ දීමනා විශේෂ දහයක් යටතේය. මෙම දීමනා ගෙවීමට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ සහ මහ භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.


එම ආයතනයේ සහකාර අධ්‍යක්ෂ තනතුර සඳහා මාසිකව රුපියල් 40,000 ක්ද කළමනාකරණ තනතුර සඳහා මාසිකව රුපියල් 5000 ක්ද  රියදුරු තනතුරු සඳහා මාසිකව රුපියල් 2500 බැගින්ද ගමන් වියදම් ලෙස ගෙවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි සංග්‍රහය අනුව විධිවිධාන සලසා තිබූ නමුත් එම විධිවිධානවලට භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවද වාර්තාව සඳහන් කරයි.


මේ අතර කොමිෂන් සභාව එම වර්ෂයේදී බලපත්‍රලාභීන් අසූ දෙදෙනකුගෙන් නියාමන ගාස්තු නියමිත දින හෝ ඊට පෙර අය කරගෙන නොතිබූ බවද එහි දැක්වෙයි. මේ තොරතුරු සඳහන් වන්නේ  ශ්‍රී ලංකා  මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.