මහ බැංකුවේ පඩි වැඩි කර ගැනීම ගැන රජයේ මුදල් කාරක සභාවේ වාර්තාව බදාදා පාර්ලිමේන්තුවට


උපුල් වික්‍රමසිංහ 

මහ බැංකු නිලධාරීන් ඇතුළු සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා සකස් කළ වාර්තාව ලබන බදාදා (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

අදාළ වැටුප වැඩි කර ගැනීම සම්බන්ධයෙන් විමසීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් පී. වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් ඉකුත්දා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට කැඳවා කරුණු විමසූ අතර මහ බැංකු අධිපතිවරයා ඒ පිළිබඳව ලබා දුන් පිළිතුරු වාර්තාව මත පදනම්ව මෙම වාර්තාව සකස් කර ඇතැයි ද ඒ මහතා කීවේය.


අදාළ වාර්තාව පළමුව ලබන 19 වැනිදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට ඉදිරිපත් කර එහිදී සාකච්ඡා කරන බවත්, කාරක සභා සාමාජිකයන්ගෙන් සංශෝධන ඉදිරිපත් වුවහොත් ඒවා ද ඇතුළත් කර 20 වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.