මස් - මාළු එළවළු ගිනි ගණන් ජනතාව අමාරුවේ


මිල නියාමනයට වැඩපිළිවෙළක් ඕනෑ

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

වෙළෙඳපොළේ  මස්, මාළු, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
ඉන්ධන, ගෑස් සහ  විදුලිය මිල යම් ප්‍රමාණයකට අඩුවී ඇතත් කූට වෙළෙඳුන් ඒ සහනය ජනතාවට නොදෙන තත්වයක් පවතින බව එම ජනතාව පෙන්වා දෙති.

සමහර වෙළෙඳුන්  ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතූ මිල ගණන් අය කරන බව පවසන පාරිභෝගික ජනතාව මේ තත්ත්වය වැළැක්වීමට නොපමාව මැදිහත් වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරති.


ඉන්ධන, ගෑස්, විදුලිය මිල කොපමණ අඩු කළත් පාරිභෝගික භාණ්ඩ මිල නියාමනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාවට  ඒ සහනය නොලැබෙන බවත් පාරිභෝගික අධිකාරියද ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.


වෙළෙඳපොළේ එළවළු මිලද අධික ලෙස ඉහළ ගොස් ඇති අතර සමහර එළවළු ග්‍රෑම් 250 අලෙවි කෙරෙන්නේ රුපියල් 80, 120 වැනි මිල ගණන්වලට බව ජනතාව ප්‍රකාශ කරති. කුඩා මාළු මිලද රුපියල් 1000, 1500 ඉක්මවා ගොස් තිබේ.