මන්ත්‍රීන්ට කෝටි ගණනින් සුපිරි තෑගි


විස්සක් පිල් මාරුවට සූදානම්

සුජිත් හේවාජුලිගේ

පක්ෂවලට සම්බන්ධ කර ගැනීම (පිල් මාරුවීම්)  සඳහාත් අපේක්ෂකයන්ට සහාය ලබාගැනීම සඳහාත් රුපියල් කෝටි ගණනක  මුදල් සහ වෙනත් වටිනා ත්‍යාග ලන්සු මේ දිනවල ඉදිරිපත් වෙමින් පවතින බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල පිල් මාරු කිරීමට නියමිත බව බුද්ධි අංශ වාර්තාවලින් රජයට කරැණු   වාර්තාවී ඇත. මින් වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂයේ (පොහොට්ටු) මන්ත්‍රීවරු වෙති.


තමන්ට සහාය ලබා දෙන්නේ නම් මුදල් සහ ඉඩකඩම්, සුපිරි වාහන  ත්‍යාගයන්ට අමතරව පවුල්වල ඥාතීන්ට දෙස් විදෙස් රැකියා ලබාදීම, දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම වැනි වාසි අත්කර දීමටද  අපේක්ෂකයන් පොරොන්දු වී සිටින බව වාර්තා වේ.


මේ අතර සංචාරක රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ මහත්මියගේ  නිවෙසට පැමිණ ඇති ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහය දෙන ලෙස පසුගියදා  ඉල්ලීමක් කර ඇත.


මින් එක් අපේක්ෂකයකු ඇය වෙනුවෙන් රුපියල් කෝටි දහයක ලන්සුවක්ද ඉදිරිපත් කර තිබිණැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත්  ඩයනා ගමගේ මහත්මිය එම ඉල්ලීම  ඒ මොහොතේම ප්‍රතික්ෂේප කර  තිබිණ.


මෙයට අමතරව කුරුණෑගල, මාතර සහ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක  කිහිපයක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද එම ජනාධිපති අපේක්ෂකයන්  විවිධ ලන්සු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.


පක්ෂ පිල් මාරුවීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීහු කණ්ඩායමක් මේ දිනවල සෙවිල්ලෙන් පසුවෙති.