මන්ත්‍රීන් බා ගැනීමේ සටන ගිනියම් වෙයි


කෙහෙළියට එරෙහි විශ්වාසභංගය

  • විශ්වාසභංගෙට දෙපැත්තෙන්ම ලොකු සටනක්
  • මන්ත්‍රීන්ට කොළඹ රැඳී ඉන්නත් දැනුම් දීමක්

සුජිත් හේවාජුලිගේ 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත්, ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත්, අරඹා ඇති සටන මේ වනවිට උණුසුම් මුහුණුවරකට පැමිණ ඇතැයි වාර්තා වේ.


විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව විසින් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබ ඇත. 

ආණ්ඩුවට මෙසේ කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රබල උත්සාහයක නිරතව සිටින නිසා බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා විපක්ෂය ප්‍රබල සටනක නිරතව සිටින හෙයින් ලබන සතියේදී විදේශ ගමන්වල යෙදීම ජනාධිපතිවරයා විසින් සියලු‍ මැති ඇමැතිවරුන්ට තහනම් කරනු ලැබ ඇත. 
එසේම විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ද  සිය මන්ත්‍රීවරුන්ට ඉදිරි සතියේදී කොළඹ රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.


සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග  රහසිගත සාකච්ඡා අරඹා ඇතැයිද වාර්තා වේ. 


කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ විවාදයට ගැනීමට නියමිතය. විවාදය සඳහා දින තුනක් ලබාදීමට ආණ්ඩුව එකඟවී ඇත.
ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතයෙන් පසු රෝගීන් මියයෑම, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් ඉලක්ක කර සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.


මේ අතර ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනීමට ද මේ දිනවල රහසිගත ගනුදෙනුවක නිරත වෙමින් සිටින බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.