මධ්‍යම පන්තියේ ලක්ෂ 32ක් දුප්පතුන් ගොඩට


2023 දී තවත් ලක්ෂ 5ක් ඒ ගොඩට වැටෙනවා

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා හෙළිකරයි

ගුණසිංහ හේරත්

ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් 31,82,000 ක් (තිස්එක්ලක්ෂ අසූදෙදහසක්) දුප්පතුන් ගොඩට ඇද වැටෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වෝෂ් අනාවරණය කරයි.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ඒ බව අනාවරණය කළේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලැබ කොළඹ හිල්ටන් හෝටලයේ පිහිටි ‘ප්‍රෙස් ක්ලබ්’ හි පැවැති සම්මන්ත්‍රණයක දීය.
2021 දී ලංකාවේ ජනගහනයෙන් සියයට 13.1 ක් වූ දුප්පතුන් සංඛ්‍යාව 2022 දී සියයට 25 දක්වා වර්ධනය වූ බව එහිදී කී ලෝක බැංකු අධ්‍යක්ෂවරයා මේ 2023 වසර අවසන් වෙද්දී එය තවත් සියයට 2.4 කින් ඉහළ යන බවද අනාවරණය කළේය.


ලෝක බැංකුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2021 දී මෙරට ජනගහනය මිලියන 22.156 කි. ඉන් සියයට 13.1 ක් කියන්නේ මිලියන 2.902 කි. ලක්ෂවලින් නම් එය 29,02,000 කි. (විසිනව ලක්ෂ දෙදහසකි.) ඒ 2021 වසර අවසන් වෙද්දී මෙරට සිටි දුප්පතුන් සංඛ්‍යාවයි.
ලෝක බැංකු අධ්‍යක්ෂවරයා කියන්නේ ඒ සංඛ්‍යාව 2022 අවසන් වෙද්දී සියයට 25 දක්වා වර්ධනය වූ බවය. ලෝක බැංකුවට අනුව 2022 දී මෙරට ජනගහණය මිලියන 22.181 කි. ඉන් සියයට 25 ක් කියන්නේ මිලියන 5.545 කි. ලක්ෂවලින් නම් 55,45,000 කි. (පනස්පන් ලක්ෂ හතළිස් පන්දහසකි.) ඒ අනුව 2022 වසරේදී දුප්පතුන් ගොඩට එකතු වී සිටින මධ්‍යම පාන්තිකයන් ගණන 26,43,000 කි. (විසිහය ලක්ෂ හතළිස් තුන්දහසකි.)


ලෝක බැංකු අධ්‍යක්ෂවරයා අනාවරණය කරන්නේ මේ 2023 වසරේදී ඒ ගණන තවත් සියයට 2.4 කින් ඉහළ යන බවය. ඉහත සඳහන් කළ ලංකාවේ ජනගහනය පිළිබඳ ලෝක බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව 2022 දී ලංකාවේ ජනගහනය වර්ධනය වී තිබෙන්නේ සියයට 0.113 කිනි. 2023 දී ද එවැනි ගණනකින් මෙරට ජනගහණය වර්ධනය වුවහොත් 2023 දී මෙරට ජනගහනයට තවත් 25,064 ක් එකතු වෙයි. ඒ අනුව 2023 අවසන් වෙද්දී මෙරට ජනගහනය මිලියන 22,206 ක් වෙයි.


ලෝක බැංකු අධ්‍යක්ෂවරයා කියන්නේ 2023 අවසන් වෙද්දී මෙරට දුප්පතුන් සංඛ්‍යාව සියයට 27.4 ක් දක්වා ඉහළ යන බවය. මිලියන 22,206 කින් සියයට 27.4 ක් කියන්නේ මිලියන 6.084 කි. ලක්ෂවලින් නම් 60,84,000 කි. (හැටලක්ෂ අසූහතර දහසකි.) ඒ 2023 වසර අවසන් වෙද්දී මෙරට සිටින දුප්පතුන් සංඛ්‍යාවයි.


ලෝක බැංකු අධ්‍යක්ෂවරයා පැවසූ ආකාරයට 2021 අවසන් වෙද්දී මෙරට සිටි දුප්පතුන් සංඛ්‍යාව 29,02,000 කි. 2023 වසර අවසන් වෙද්දී බිහිවන දුප්පතුන් සංඛ්‍යාවෙන් 2021 දී සිටි දුප්පතුන් සංඛ්‍යාව අඩු කළ විට ලැබෙන සංඛ්‍යාව වන්නේ 31,82,000 ය. ඒ ගණන 2022 දී සහ 2023 දී දුප්පතුන් ගොඩට වැටුණු මධ්‍යම පාන්තිකයන් සංඛ්‍යාවයි.
ලෝක බැංකුව දුප්පතුන් ලෙස සලකන්නේ දවසකට ඇමෙරිකන් ඩොලර් 3.65 කට අඩු හෙවත් දවසකට රුපියල් 1,222 කට අඩු (3.65x335) ආදායමක් ලබන පුද්ගලයන්ය. ජූලි 28 වැනි සිකුරාදා ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 ක් වූ අතර ඒ ගණන මත එක පුද්ගලයකුගේ දවසක ආදායම රුපියල්වලින් ගණනය කළෙමු.