මතට ඇබ්බැහි වූ පොලිසියේ 100 ක් ඇතුළේ


එස්.අයි.ලා දෙන්නෙකුත් ඒ අතර

ඉන්දිකා රාමනායක

පොලිස් දෙපාර්තමේන්තුව තුළ අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව  සිටින්නන්  100  ට ආසන්න පිරිසක් 2022 සිට මේ දක්වා  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම පිරිස අතර බොහොමයක් කනිෂ්ඨ පොලිස් නිලධාරීන් වෙන බවත්, ඔවුන් අතර ආධුනික උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකුද සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.
පොලිස් නිලධාරීන්  විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන ප්‍රවණතාව වැඩිවීම හේතුවෙන්  අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන්  හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරින් යොදවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


පොලිස් ස්ථානවල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන  බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන්  නිතර   අවධානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා  සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.


ගංජා පානය කර හසුවෙන පොලිස් නිලධාරීන්ට මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක්  ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වෙන පොලිස් නිලධාරීන්  අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන්ද ඔවුන් නෙරපා හැරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය. 
අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ලංකාදීපය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ නිලධාරීන් හසුවෙන්නේ බස්නාහිර පළාත තුළ  බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.


මේ අතර යුද හමුදාව තුළ ද අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවන් වැඩි වශයෙන් සිටින බවට වාර්තා වී ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.
ඇතැම් සෙබළුන් මෙන්ම  යුද හමුදා නිලධාරීන් ද  අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින බවට එම ආරංචි මාර්ග පවසයි.


පසුගිය දිනක අයිස් පානය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු හා යුද හමුදා පොලිස් හේවා බළකායේ සෙබළෙකු ද  පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.