භාවිතයෙන් ඉවත්කළ බාල ඖෂධ වර්ගම නැවත වරක් ගෙන්වලා


උපුල් වික්‍රමසිංහ

වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියෙහි දැක්වෙන තොරතුරුවලට අනුව 2023 වසරේ මේ දක්වා කාලය ඇතුළත අවස්ථා 71 කදී තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වීම මත ඖෂධ කාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් ඒවායෙන් ඇතැම් ඖෂධ මීට ඉහතදී ද භාවිතයෙන් ඉවත් කළ ඒවා වීම විමතිය දනවන්නක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

වරක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත් කළ ඖෂධ යළිත් මේ ආකාරයටම භාවිතයෙන් ඉවත් කර තිබීමෙන් පෙනී යන්නේ ඒවා නැවත නැවත රටට ගෙන්වා තිබීම යැයි කී ඒ මහතා තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වීම මත ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීම වසරකදී සාමාන්‍යයෙන් අවස්ථා 80 කදී පමණක් සිදු වුවද මේ වසරේ මේ දක්වා ගත වූ කාලය ඇතුළත නිසි ප්‍රමිතියෙන් තොර බවට අවස්ථා 71 කදී තහවුරු වීම බැරෑරුම් තත්ත්වයක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය. 


ශල්‍යකර්ම සඳහා වැඩි වශයෙන් භාවිත කරන නිර්වින්දන ඖෂධ දෙවර්ගයක් වන ප්‍රොපොෆෝල් සහ බුපිවකේන් යන ඖෂධ තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වීම මත 2023 වසරේ අප්‍රේල් 6 වැනිදා ඒවායෙහි කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කර ඇති බව කී වෛද්‍යවරයා ඒවා යළිත් වතාවක් ජූලි මස 7 වැනිදා ද ඉවත් කර තිබීමෙන් පෙනී යන්නේ වරක් ඉවත් කළ එම ඖෂධ නැවත වතාවක් රටට ගෙන්වා තිබීම බවත් පෙන්වා දුන්නේය. 


මේ ආකාරයට වරක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත් කළ ඖෂධ යළිත් වතාවක් රටට ගෙන ඒමට අනුමැතිය ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්නකාරී බවත් හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම නිසා ඒවායෙහි ප්‍රමිතිය ගැන නිසි සොයා බැලීමක් සිදුවී නොමැති බවත් එයින් පෙනී යන බවත් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.