බහුතරය හදද්දී පක්ෂ රැසක්ම දෙකඩ වෙයි


  • ශ්‍රීලනිපයේ,ස්වාධීන පිලේ, සජබයේ  පිරිසක්  ආණ්ඩුවට ?
  • පොහොට්ටුවේ පිරිසක් විපක්ෂයට

(අජන්ත කුමාර අගලකඩ)   

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග ආණ්ඩුවට බහුතරය සොයා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද ඊයේ (14) පෙරවරු 10 ට ජනාධිපති මන්දිරයට කැඳවා තිබිණි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට යාමත් සමග තුනෙන් දෙකේ බහුතරය 117 දක්වා අඩු වී තිබූ තිබු අතර, පසුව තවත් මන්ත්‍රීවරුන් 10 දෙනකු ස්වාධීන වීමත් සමඟ බහුතරය අහිමි වී තිබිණි.   
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට ගොස් අසුන් ගැනීමේ සූදානමක් ද පවතින බව වාර්තා වේ.   


ආණ්ඩුවෙන් ඉවත්ව හවුල් පක්ෂ සමග එක්වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු ද අලු‍තින් පිහිටුවන ආණ්ඩුව සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව දැනගන්නට ඇත.   


මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද ආණ්ඩුව සමග සම්බන්ධ වීමට සාකච්ඡා කරමින් සිටින බව ද දැනගන්නට ඇත.   


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ .   


මේ තත්ත්වය තුළ එක් එක් පක්ෂවල මන්ත්‍රීවරුන් ආණ්ඩුවත් සමඟ සම්බන්ධ වීම හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයට යාමත් හේතුකොටගෙන දේශපාලන පක්ෂ කිහිපයක් කැඩීයාමේ අවදානමක් ද මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.