බස් සේවකයන් බොහොමයකට නිසි පුහුණුවක් නෑ


මගීන්ට ටිකට්පත් නොදීමත් ගැටලුවක්

ඉන්දික හේවාවිතාරණ

මේ වන විට පෞද්ගලික බස් රථවල සේවය කරන සේවකයින්ගෙන් 80% කට ආසන්න පිරිසකට බස් රථවල සේවය කිරීමට අදාළ පුහුණු සහතික නොමැති බවත් මීට අමතරව බස් රථ අතිවිශාල ප්‍රමාණයක් දෛනික බදු පදනමින් ධවනය වන බවත් ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

බස් රථයක සේවය කිරීමට පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් හෝ පවත්වන  පුහුණුව ලබා ගත යුතු බවත් මෙම ප්‍රහුණුව ලක්ෂයකට වැඩි පිරිසක් ලබාගෙන තිබෙන බවද එම සංගමයේ ලේතම් කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන්  කළේය.


රියදුරන් පවා අදාළ සහතිකය ලබාගත යුතු  බවත්, එසේ නොමැතිව රිය බලපත්‍රයක් තිබූ පමණින් බස් රථ ධාවනය කළ නොහැකි බවත්,  බස් හිමියන් විසින් ඍජුවම පුහුණු සේවකයින් යොදාගෙන බස් රථ ධාවනය කළ යුතු බවද පවසා සිටියේය.


එහෙත් දෛනිකව විශාල මුදලක් උපයා ගැනීම් සඳහා බොහෝ බස් හිමියන් විසින්  දෛනිකව බස් රථ බදු ලබා දෙමින් තිබෙන බවත් මේ අනුව බස් රථය ලබා ගන්නා ප්‍රද්ගලයා කොන්දොස්තර  රැකියාව කරමින් රිය බලපත්‍රයක් තිබෙන ප්‍රද්ගලයෙකු රියදුරු වශයෙන් යොදාගන්නා බවද සඳහන් කළේය.


මෙම ක්‍රමය නිසා බොහෝ බස් රථවල ගමන් ගන්නා මගීන්ට ටිකට් පතක්වත් නොලැබෙන බවත් බස් රථ අනතුරකදී රක්ෂණ වන්දි මුදලක් ලබා ගැනීමට සිදුවුවහොත් ටිකට් පතක් රැගෙන තිබීම අනිවාර්ය බවද ඔහු  පවසා සිටියේය.