පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අලුත් දේශපාලන පක්ෂයක්


අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩුවට එක්වී තනතුරු දරන සහ තනතුරු නොදරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා පිරිස සම්බන්ධ කිරීමේ මූලික කටයුතු භාර ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රබලයකු බවද දැනගන්නට ඇත.


මෙම දෙදෙනා රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතින බවද දැනගන්නට ඇත.
මීළඟ   ජනාධිපතිවරණයේදී,ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම  සඳහා මෙම දේශපාලන පක්ෂය පිහිටුවීමට මෙම පිරිස අපේක්ෂා කරන අතර, ආණ්ඩුවට එක්ව තනතුරු දරන ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු සහ පොහොට්ටුවේ තනතුරු නොදරන  ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කර ගැනීමට  සූදානම්ව සිටින බව දැනගන්නට ඇත.


මේ අතර, ආණ්ඩුවේ තනතුරු දරන පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීම සඳහා සන්ධානයක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට ඇත.


කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශෙහාන්  සේමසිංහ, දිලු‍ම් අමුණුගම යන කැබිනට්  හා රාජ්‍ය ඇමතිවරුන්  පිරිසක් ඊට සම්බන්ධ වී සිටින බවද පැවසේ.