පොලීසියේ ඔළුව නැතිව සති දෙකක් ගතවෙලා


අජන්ත කුමාර අගලකඩ

පොලිස් දෙපාර්තමේන්තුවට දින ද‌ාහතරක් තිස්සේ නව පොලිස්පතිවරයකු පත්කර ගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේම පාර්ශ්ව දෙකක්  අතර පවතින කඹ ඇදිල්ලක් නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තවත් මාස තුනකට සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම කෙනකුට සම්බන්ධ  ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු පෙනී සිටින අතර, ඔහුට සේවා දිගුවක් නොදී තෝරාගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පොලිස්පති ධුරයට පත්කළ යුතු බවට විෂය භාර  ඇමැතිවරයා පෙනී සිටින බවද දැනගන්නට ඇත.

දෙපාර්ශ්වය අතර පවතින මෙම කඹ ඇදිල්ල හේතුවෙන් පොලිස්පති පුටුව දින දාහතරක් තිස්සේ පුරප්පාඩු වී පවතින අතර, පොලිස් දෙපාර්තමේන්තුව පොලිස්පතිවරකු නැතිව මෙතරම් දින ගණනක් පාලනය වූයේ ඉතිහාසයේ පළමු වතාවට බවද දැනගන්නට ඇත.


මේ අතර විෂය භාර ඇමතිවරයා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහායට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද  සහාය  හිමි වී ඇතැයි දැනගන්නට තිබේ.
එම  තත්ත්වය මත පොලිස්පති ධුරය තවත් දින කීපයක්ම මේ ආකාරයෙන් පුරප්පාඩු වී පවතිනු ඇතැයිද දැනගන්නට තිබේ. පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනිදා විශ්‍රාම ගිය අතර, එදින සිට මේ දක්වාම එම ධුරය පුරප්පාඩුව පවතී.