පොලීසිය ලෑස්තියි


සුජිත් හේවාජුලිගේ 

කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද, ගෑස් මුහුණු ආවරණ (මාස්ක්) 750 ක් සහ  රබර් බැටන් පොලු 1000ක්ද  මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


මේවා ඉදිරියේදී මිලදීගෙන කැරලි මර්දන ඒකකයන්ට අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට නියමිතය. කැරලි  මර්දන උපකරණ රැසක් මීට පෙරද පොලීසිය විසින් වරින් වර මිලදී ගනු ලැබීය. පසුගිය කාලයේ විවිධ උද්ඝෝෂණවල දී ඇති වූ කලබල මැඩ පැවැත්වීමට පොලීසිය  කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර සිදු කළේය.

විදුලි ගාස්තුව ඉහළ දැමීම, ඉන්ධන මිල හා ගෑස් මිල ඉහළ යෑම, වැට් බද්ද, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම,සෞඛ්‍ය සේවයේ අඩුපාඩු, ගුරු සේවයේ ගැටලු, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කරුණු  රැසක් මුල්කර ගනිමින්  ඉදිරි කාලයේදී රට පුරා උද්ඝෝෂණ සංවිධාන වීමට ඉඩ ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.