පොලිස් මූලස්ථානය කොටුවේ ගුවන් හමුදා මූලස්ථානයට


ගුවන් හමුදාව අකුරේගොඩට

අජන්ත කුමාර අගලකඩ 

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත්කර, කොම්පඤ්ඤ වීදියේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට රැගෙන යාමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඒ අනුව, කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ගෙන යාමට සැලසුම් කර ඇතැයිද එම ආරංචි මාර්ග කියයි. 


කොළඹ වරාය නගරය ඉදිකිරීමට සමගාමීව, කොටුවේ පිහිටි ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් ඉවත් කර සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බැවින් පොලිස් මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට මෙසේ සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ. 


කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශය, නාවික හමුදා මූලස්ථානය ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක් ද මේ අනුව එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට නියමිතව ඇතැයි දැනගන්නට තිබේ. 


පොලිස් මූලස්ථානය කොටුවෙන් ඉවත්කර, ගුවන් හමුදා මූලස්ථානයට රැගෙන යාම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි සූදානමක් පවතින බව ය.