පුරප්පාඩු දහසක් තිබියදීත් උපපොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම් නෑ


ඉන්දික හේවාවිතාරණ

උපපොලිස් පරීක්ෂක සේවාවේ වසර 08 ක කාලයක් සේවය කිරීමෙන් පසු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ යුතු වුවත්, 2013 වසරේදී හා ඉන් පසුව  අදාළ තනතුරට බඳවා ගත් පිරිස්වලට තවමත් උසස් වීම් ලබා දී නොමැති බව අසාධාරණයට ලක්වූ උපපොලිස් පරික්ෂකවරු සඳහන් කරති. 

මේ වන විට පොලිස් පරීක්ෂක ශේණියේ පුරප්පාඩු  දහසක් පමණ තිබෙන බවත්, වසර අටකට වැඩි කාලයක් උපපොලිස් පරීක්ෂක තනතුරේ සේවය කරන තුන්සිය පනහක පමණ පිරිසක් සිටින බවත් එම පිරිස් පෙන්වා දෙති. මෙම පිරිසෙන් වැඩිම අසාධාරණයක් සිදුව තිබෙන්නේ 2013 වසරේදී උපපොලිස් සේවාවට එක් ව දැනට සේවය කරන  එකසිය අසුහතර දෙනෙකුට බවද අසාධාරණයට පත් උපපොලිස් පරීක්ෂකවරු සඳහන් කරති. 


උසස්වීම් නොමැතිව දීර්ඝ කාලයක් එකම තනතුරේ සේවය කරන පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා සේවය කරන පිරිස්වලට උසස් වීම් ලබාදීමට අදාළව පසුගිය 28 වැනි දින දක්වා අයදුම්පත් කැඳවූ බවද සඳහන් කරති. එහෙත් අයදුම් පත් යොමු කළ පිරිස් සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම නවතා දමා කිසිදු හේතුවක් නොමැතිව උසස් වීම් ලබා දීමට අදාළ කටයුතු පසුගිය 28 වැනි දින අවලංගු කළ බවද එම පිරිස් පෙන්වා දෙති. 


මේ නිසා උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටි උපපොලිස්  පරීක්ෂකවරුන් ඇතුළු පොලිස් කොස්තාපල් තනතුරේ පොලිස් පරීක්ෂක තනතුර දක්වා තනතුරුවල සේවය කරන පිරිසට දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බවද අසාධාරණයට පත් උපපොලිස් පරීක්ෂකවරු සඳහන් කරති.