පුරප්පාඩු 4830 යි දුම්රිය කොට උඩ


ඉන්දික හේවාවිතාරණ

ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තනතුරු 60ක ප්‍රමාණයම මේ වන විට පුරප්පාඩු වී තිබෙන බවත්, මේ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ප්‍රමාණය 4830 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙති.


පවතින සේවක හිඟය නිසා දිනපතා දුම්රිය ගමන් වාර  50කට ආසන්න ප්‍රමාණයක් අවලංගු වෙමින් තිබෙන බවත්, මේ වසරේ දෙසැම්බර් 31 වැනි දින වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා  තවත් සේවකයන් පිරිසක් විශ්‍රාම යාමට නියමිතව තිබෙන බවත්  එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මේ වසරේ පෙබරවාරි මාසයේදී 42 ක් බඳවා ගත් බවත්, එම පිරිසෙන් 06 දෙනෙකු මේ වන විට සේවය හැර ගොස් තිබෙන බවත්, දුම්රිය ස්ථානාධිපති සේවයේ තනතුරු 1050ක ප්‍රමාණයෙන් තනතුරු 137ක් පුරප්පාඩු වී තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.


දුම්රිය රියදුරු සේවාවේ තනතුරු 208ක් පුරප්පාඩු වී තිබෙන බවත්,  නියාමක සේවාවේ පුරප්පාඩු 180ක් ඇති වී තිබෙන බවත්, දුම්රිය ගමන් වාර අවලංගු වීමට ප්‍රධාන ලෙස බලපා තිබෙන්නේ මෙම සේවා දෙකේ පවතින පුරප්පාඩු  බවත් වෘත්තිය සංගම් සඳහන් කරති.


මෙම සේවා දෙක සඳහා බඳවා ගැනීම් සිදුකළත් ඔවුන් සේවාවට අනුයුක්ත කර ගැනීමට පුහුණුවක් ලබා දිය යුතු බවත්, මේ නිසා අදාළ ගැටලුවට විසඳුමක් ලෙස නව බඳවා ගැනීම් සිදුකරන තෙක් විශ්‍රාම ගොස් සිටින පිරිස් කොන්ත්‍රාත් පදනමින් සේවාවට බඳවා ගත යුතුව තිබෙන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති. 
අදාළ කටයුතු සිදුනොකළහොත් ලබන වසරේදී දෛනිකව අවලංගු වන දුම්රිය ගමන් වාර ප්‍රමාණය මේ වසරට වඩා දෙගුණයක් බවට පත් විය හැකි බවත්, වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ඉදිරියේදී සැලකිය යුතු පිරිසක් විශ්‍රාම යාමට නියමිතව සිටින බවත් ඔවුහු සඳහන් කරති.