පී.සී.ආර්. හා ඇන්ටිජන් නිදර්ශක ගැනීමෙන් හෙද සංගමයක් ඉවත්වෙයි


(දයාසීලි ලියනගේ) 

කොරෝනා වසංගතය සඳහා වූ පී.සී.ආර්. පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා වන නිදර්ශක ලබාගැනීමෙන් රජයේ රෝහල්වල හෙද නිලධාරින් පිරිසක් වැළකී සිටින බව වාර්තා වේ. 

හෙද කාර්ය මණ්ඩලයට මෙම නිදර්ශක ලබාගැනීම රාජකාරි මට්ටමින් පවරා නැති නිසා, තම සංගමය මෙම රාජකාරියෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය. 


කොරෝනා වසංගතය ආරම්භයේ සිටම හෙද නිලධාරීන් මෙම නිදර්ශක ලබා ගැනීමේ කටයුතුවල යෙදී සිටි අතර එය ඔවුන්ගේ රාජකාරියක් බවට ලිඛිතව නිල වශයෙන් පවරන ලෙස සංගමය අමාත්‍යංශයෙන් ඉල්ලීම් ගණනාවක් කර ඇතත් මෙතෙක් එය නිල වශයෙන් සිදුවී නැති නිසා ඔවුන් එයින් ඉවත්වීමට තීරණය කර ඇති බව ද රත්නප්‍රිය මහතා කීය. 


රාජකාරි වගකීමක් නොමැතිව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය හෙද කාර්ය මණ්ඩලයට අයත් නොවන රාජකාරියක් ලෙසට ගැටළු ඇති වන නිසා එම රාජකාරිය ලිඛිතව පවරන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් එය ඉටුවී නැති බවද රත්නප්‍රිය මහතා කීය.