පී.සී.ආර්. ප්‍රතිඵල එන්න පෙර සේවකයන් වැඩට අරන්


නිදහස් වෙළෙඳ කලාප  පොදු ​සේවක සංගමයෙන් චෝදනා

(උපුල් වික්‍රමසිංහ)   

පීසීආර් පරීක්ෂණවලට ලක් කර ඇති සේවකයන් ඒවායෙහි වාර්තා පැමිණීමටත් පෙර සේවයට කැඳවීමට ඇතැම් ඇඟලු‍ම් කර්මාන්තශාලා හිමියන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය චෝදනා කරයි. 

එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ දිවයින පුරා පිහිටි නිදහස් වෙළෙඳ කලාපවලට අයත් ඇඟලු‍ම් කර්මාන්ත ශාලා රැසකින් ඊට අදාළ පැමිණිලි සිය සංගමයට ලැබී ඇති බවත් සේවයට කැඳවන සේවකයන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල ධන (පොසිටිව්) වුවහොත් ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගත්ත ද ඒ වන විට සැලකිය යුතු පිරිසකට වයිරසය ආසාදනය වී තිබිය හැකි බවත්ය.   


අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ පීසීආර් පරීක්ෂණවලට භාජනය කරන සේවකයන් කිසිදු විටෙකත් සේවයට කැඳවා නැති බවත් නිදහස් වෙළෙඳ කලාපවල සිදු කරන අහඹු පීසීආර් පරීක්ෂණ මගින් කොවිඩ් 19 ආසාදිත යැයි හඳුනාගන්නා සේවකයන් රෝහල්ගත කරන බවත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවත්ය.   


වැඩිදුරටත් එම ප්‍රකාශකයා කියා සිටියේ සියලු‍ම ඇඟලු‍ම් කම්හල් සේවක සේවිකාවන් සේවයට කැඳවුව ද ඒ කටයුතු සිදු වන්නේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව බවය.   


නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිත සිදු වන එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන ද අප සොයා බැලූ අතර එහිදී දැනගන්නට ලැබුණේ දිවයින පුරා පිහිටි නිදහස් වෙළෙඳ කලාප 14 හි සේවය කරන සේවකයන් 22841 දෙනෙකුට මේ දක්වා කොවිඞ් 19 එන්නත ලබා දී ඇති බවය.   


කොවිඩ් 19 තුන් වැනි රැල්ලේ ව්‍යාප්තියත් සමග මේ දක්වා නිදහස් වෙළෙඳ කලාපවලින් වාර්තා වී ඇති මුළු කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 7391 කි.