පී.එච්.අයි මහත්වරු 22 සිට බෝවන රෝග රාජකාරියෙන් ඉවත් වෙති


ඉන්දික හේවාවිතාරණ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති වී තිබෙන ගැටලු‍වලට විසඳුම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කරමින් තිබෙන නිසා එයට එරෙහිව මේ මස 22 වැනි දින සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ මස 08 වැනි දින සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට ලබාදෙන ඩෙංගු තත්වය ඇතුළුව සියලු‍ වාර්තා ලබාදීම අත්හිටුවා තිබෙන බවත්, 15 වැනි දින සිට ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් සිටින බවත් එම සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා සඳහන් කළේය.


මෙම වෘත්තීය ක්‍රියා මාර්ග සැලකිල්ලට ගනිමින්වත් බලධාරීන් විසින් අදාළ ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා මේ මස 22 වැනි දින සිට  බෝවන රෝග විස්සකට වැඩි ප්‍රමාණයකට අදාළ රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. දෙසැම්බර් 01 වැනි දින සියලු‍ම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වී කාර්යාලවල රැඳී සිටීමට කටයුතු කරන බවත්, දෙසැම්බර් 15 වැනි දින සිට පළාත් වශයෙන් උද්ඝෝෂණ පැවැත්වීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට හා විරෝධතා පාගමන් පැවැත්වීමට කටයුතු කරන බවත් බෝපිටිය මහතා සඳහන් කළේය.


පවතින උසස් වීම් ගැටලු‍ හා ක්ෂේත්‍ර රාජකාරි සඳහා ලබා දෙන ප්‍රවාහන දීමනා හා කාර්යාල දීමනා ගැටලු‍ ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකරන බවත්, මේවා මුල්කර ගනිමින් දෙදින වැඩ වර්ජනයක්ද පසුගිය මාසයේදී සිදු කළ බවත්,  ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබුණ බවත් හෙතෙම පවසා සිටියේය.


පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු 322ක ප්‍රමාණයෙන් තනතුරු 142ක් පුරප්පාඩු වී තිබෙන බවත්, මෙම තනතුරුවල වැඩ බැලීමේ රාජකාරි සිදුකරන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු 150ක පමණ පුරප්පාඩු පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.