පිරමීඩ ජාවාරම්වලට අහුවෙන්න එපා


චාමර සම්පත්

පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 09ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.


එසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ ‘83 ඈ’ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.


තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකු සිදුකරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පවසයි.


ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකුව මෙම නිවේදනයේ සඳහන් කර තිබේ.