පාසැල් දිවා ආහාරය වැඩි කරන තීරණය තවම කොට උඩ


ඉන්දික හේවාවිතාරණ

දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන්ගේ ප්‍රමාණය ලක්ෂ එකොළහේ සිට ලක්ෂ විස්සක් දක්වා ඉහළ දමන බවට කැබිනට් මණ්ඩල තීන්දුව ගෙන මාස හයක කාලයක් ගත වී තිබුණත් මෙතෙක් අදාළ තීන්දුව ක්‍රියාත්මක කර නොමැති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

දිවා ආහාර වේලක් ලබා දීමට වෙන් කරන රුපියල් අසූපහක මුදල රුපියල් එකසිය පහළොව දක්වා ඉහළ දමන බවට ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කළත් එම පොරොන්දුව ඉටු කර නොමැති බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.


පවතින ආර්ථික අර්බදය නිසා සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක්  ආහාර නොගෙන පාසල් එන තත්වයක් ඇති වී තිබෙන බවත්, මේ නිසා කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන තීන්දුවට අනුව දිවා ආහාරය ලබා දෙන දරුවන් ප්‍රමාණය කඩිනමින් ලක්ෂ විස්සක් බවට පත් කළ යුතු බවත් හෙතෙම පැවසීය


දැනට පාසල් පද්ධතිය තුළ ලක්ෂ හතළිස් තුනකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවත්, මෙම පිරිසෙන් ලක්ෂ තිහකටවත් දිවා ආහාරය ලබාදීමට කටයුතු කළ යුතුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ දරුවන් පෝෂණ ගැටලුවලට ලක්වීම බවත් ඒ මහතා සඳහන් කළේය.


පසුගිය  කාලයේ දී යුනිසෙෆ් ආයතනය විසින් දකුණු ආසියාවේ වැඩිම මන්ද පෝෂණ තත්වය වාර්තාවෙන්නේ ලංකාවෙන් බවට ප්‍රකාශයට පත් කළද, ආණ්ඩුව එම තොරතුරු ප්‍රතික්ෂේප කර ඇත. ළමුන්ට මන්දපෝෂණය තිබෙන බවට කළ හෙළි කිරීම ද ප්‍රතික්ෂේප කර ඇතැයි ඒ මහතා පැවසීය.


දිවා ආහාරය ලබා දෙන සිසුන්ගේ ප්‍රමාණය ලක්ෂ 11 සිට ලක්ෂ 20 දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය විසින් පසුගිය වසරේ සැප්තැම්බර් 10 වන දින තීන්දුවක් ගෙන තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.