පාස්කු ප්‍රහාරය ගැන යළි පරීක්ෂණ අවශ්‍ය නෑ


- රජයේ ස්ථාවරය ඇමැති අලි සබ්‍රි කියයි

උපුල් වික්‍රමසිංහ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විධිමත් පරීක්ෂණ පවත්වා ඇති බැවින් නැවත ඒ ගැන විමර්ශන පැවැත්විය යුතු නැති බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය යැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.


‘ඉරිදා ලංකාදීප’ය සමග සාකච්ඡාවකට එක් වෙමින් මේ බව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා එම ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමෙන් පසු ඉන්ටපෝල් ආයතනය, ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය සහ ඇමෙරිකාවේ එෆ්.බී.අයි. යන ආයතන එක්ව පරීක්ෂණයක් සිදු කළ බවත් එහි තොරතුරු මෙරට නීතිපතිවරයාට ලබා දීමෙන් පසු අදාළ තොරතුරු මත පදනම්ව විශාල පිරිසකට එරෙහිව නඩු පැවරූ බවත් ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී (2022) මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අලු‍ත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනයෙන් ඉල්ලීමක් කළ ද මීට පෙර ඒ ගැන පරීක්ෂණයක් කළ බැවින් යළිත් එවැන්නක් කිරීමේ අවශ්‍යතාවක් නැති බව එම ආයතනය රජයට දැන්වූයේ යැයිද සබ්‍රි මහතා සඳහන් කළේය.