පාසල් ළමයින් ප්‍රවාහනයෙන් 15,000 ක් ඉවත් වෙලා


ඉන්දික හේවාවිතාරණ

පාසල් ළමුන් පාසල් ප්‍රවාහන රථ භාවිතයෙන් දිගින් දිගටම ළමුන් ඉවත් වීම නිසා එම සේවාව දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත්, ගෙවීගිය වසර තුනක කාලය සැලකීමේදී ප්‍රවාහන රථ 15,000ක්  සේවාවෙන් ඉවත් වී තිබෙන බවත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

ඉන්ධන මිල හා අමතර කොටස් මිල ඉහළ යෑම හා බදු ඉහළ යෑම නිසා පාසල් ප්‍රවාහන ගාස්තුව ගෙවීගිය වසර තුන තුළදී විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ නිසා බොහෝ දෙමාපියන්ට පාසල් ප්‍රවාහන රථවලින් දරුවන් පාසල් යැවීමේ වත්කමක් නොමැති බවද එම සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා සඳහන් කළේය.
2020 වසර  දක්වා ගෙවීගිය වසර පහක පමණ කාලය සැලකීමේදී ආසන්න වශයෙන් සෑම වසරකදීම දරුවන් ලක්ෂ 16 - 17  අතර ප්‍රමාණයක් පාසල් ප්‍රවාහන රථ භාවිත කර පාසල් ගොස් තිබෙන බවත්, මේ වන විට එම ගණන ලක්ෂ 11 - 12  අතර වන බවත් ඔහු පැවසීය.


ඉන්ධන හා අමතර කොටස් මිල ඉහළ යෑම, පාසල් ප්‍රවාහන රථයක ආසනයක් වෙනුවෙන් වර්ෂයකට අය කළ රු. 500ක බදු මුදල රු. 650 දක්වා ඉහළ දැමීම, යෝග්‍යතා සහතිකයට අය කළ මුදල දෙගුණයක් කර තිබීම හා දුම්සහතිකය ලබාගැනීමේ ගාස්තු ඉහළ දැමීමද මීට බලපා තිබෙන බව සභාපතිවරයා සඳහන් කළේය.
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා රථ 40000කට අධික ප්‍රමාණයක් 2020 වසර වන විට පැවැති බවද, පවතින අර්බුදකාරී තත්වයන් නිසා මේ වන විට පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන්නේ රථ 25000කට ආසන්න ප්‍රමාණයකින් බවද ඔහු සඳහන් කළේය.