පාර්ලිමේන්තුව විසුරුවන වගන්තියට පොහොට්ටුවෙන් විරෝධයක්


අජන්ත කුමාර අගලකඩ  

ලබන 6 සහ 7 යන දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ විරෝධයක් පළ වී ඇතැයි වාර්තා වේ.  

එම කෙටුම්පතේ අඩංගු ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන වගන්ති සම්බන්ධයෙන් මෙම විරෝධය පළවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.  


පාර්ලිමේන්තුව වසර දෙක හමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන වගන්තිය විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද ඇතුළත් කර තිබූ අතර, එය ඒ ආකාරයෙන්ම විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ට ද ඇතුළත් කර තිබේ.  


එහෙත් එය වසර දෙක හමාරකට පසුව නොව වසර හතර හමාරකට පසුව ජනාධිපතිවරයාට විසුරුවා හැරීමේ බලය ලැබෙන ආකාරයට සංශෝධනය කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු රජයට යෝජනා කර ඇති බවද දැනගන්නට ඇත. පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය ලැබෙන අතර, ඒ සම්බන්ධයෙන් ඇති බිය නිසා පිරිසක් ඊට විරුද්ධ වන බව දැනගන්නට ඇත.  
මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හමුවී කරුණු දැක්වීමට සුදානමින් සිටින බවද රජයේ ආරංචි මාර්ග කියයි.