පාතාලයන්ගෙන් ‘‘හැම්පර්” ගන්නා පොලිස් ලොක්කන්ට වැඩ වරදී


සුජිත් හේවාජුලිගේ   

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලකරුවන් සමග කිට්ටු සබඳතා පවත්වමින් මස්, මාළු, එළවළු ඇතුළු විවිධ තෑගි භාණ්ඩ (හැම්පර්) ගන්නා සහ ජාවාරම්කරුවන් සමග ‘‘පාටි” දාන පොලිස් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් රහසිගතව සොයා බැලීමට බුද්ධි අංශ කණ්ඩායම් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.   

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලයන් සමග සබඳතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.   


මේ අතර රට පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් ඇගයීම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ලබන ජූලි මස තිස් වෙනිදා දක්වා (මාස හයක්) කරන එම ඇගයීම් වැඩපිළිවෙළේදී හොඳ වාර්තා ඉදිරිපත් නොවන පොලිස් ස්ථානාධිපතිවරුන් වහාම මාරු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.   


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාතාලයන්ගෙන් එවැනි දේවල් ලබාගෙන තමන්ගේ දරුවන්ට දීමෙන් දරුවන්ටද කිසිදු වගතුවක් හෝ යහපතක් හෝ ඇති නොවන බව පැවසූ ටිරාන් අලස් මහතා මේ කටයුතු සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බලන බවද ප්‍රකාශ කළේය.