සුජිත් හේවාජුලිගේ
පාතාල නායකයන් ලෙස සැලකෙන සියයකට වැඩි පිරිසක් තවමත් නිදැල්ලේ සිටින බව වාර්තා වේ. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් සැඟව සිටින්නේ විදේශ රටවල බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීමට විවිධ උත්සාහ ගෙන ඇතත් තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ සීමිත පිරිසක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් විවිධ තරාතිරම්වල පාතාල නායකයෝ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ 20කට වැඩි පිරිසක් මෙරට විමර්ශන කණ්ඩායම් විසින් මෑත භාගයේ දී මෙරටට රැගෙන එනු ලැබූහ.
ලෝකයේ විවිධ රටවල අතිශය සංකීර්ණ ස්ථානවල සැඟව සිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීම මෙසේ දුෂ්කර වී ඇති බවත් සමහර රටවල පවතින නීතිය අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අතිශයින්ම දුෂ්කර බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් උත්සාහය අත්හැර නොමැති බවත්, විදේශයන්හි සැඟව සිටින පාතාලකරුවන් මෙරටට රැගෙන එන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බවත්, එම නිලධාරියා ප්‍රකාශ කළේය.
විදේශ රටවල සැඟව සිටින පාතාලකරුවන් මෙරට ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූවරුන්ට දුරකථන ඇමතුම් දී කප්පම් ලබාගැනීම් විශාල වශයෙන් සිදුවන අතර, එසේ තර්ජනයට ලක් වූ විස්සකට වැඩි පිරිසක් පිළිබඳව ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර බන්ධනාගාරවල රඳවා සිටින පාතාල නායකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ද රජයට දැඩි අභියෝගයක්ව පවතින බව වාර්තා වේ.
එම පාතාල කල්ලි අතර පවතින උග්‍ර ගැටුම් ඊට හේතු වී තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ නිසා එම පාතාලකරුවන් වෙන් වෙන් වශයෙන් රැඳවීමට සිදුව ඇති බවත්, පහසුකම් අඩුකම හේතුවෙන් එසේ කටයුතු කිරීම ඉතා දුෂ්කර වී ඇති බවත්, බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.

