ප්‍රදේශ 62 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්


දෙසැම්බර් මස  පමණක් ඩෙංගු  රෝගීන් 10088ක් සතියක් තුළ මරණ 5 ක්

ඉන්දික හේවාවිතාරණ

මේ වසරේ මාසයක කාලයක් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ මේ මස 01 වැනි දා සිට 28 වැනි දා දක්වා කාලය තුළදී බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම කාලය තුළදී ඩෙංගු රෝගීන් 10088ක් වාර්තා වී තිබෙන අතර,  මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 28 වැනි දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 86576ක් වාර්තා වී තිබේ.

මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 55 ක් සිදුව ඇත. ඉන් මරණ05ක් සිදුව තිබෙන්නේ මේ මස 28 වැනි දිනෙන් අවසන් වූ සතියක කාලය තුළදීය.
මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍රදේශ  62ක ඩෙංගු අධි අවදානම් මට්ටමින් පැතිර යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී තිබෙන අතර,  පසුගිය වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ 63383ක් බව වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. 


 පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළදී වාර්තා වී තිබෙන්නේ ඩෙංගු රෝගීන් 5075ක ප්‍රමාණයක් වන අතර, මේ වසරේ දෙසැම්බර් මාසයේ දින 28 ක කාලය තුළදී පමණක් රෝගීන් 10088ක් වාර්තා වී තිබේ.