ප්‍රතිව්‍යුහගත කරන්න ශ්‍රීලංකන් රජය සමග එක්ව වැඩ


ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත  කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

සමාගමේ පිරිවැටුම වැඩි කර ගනිමින් දක්ෂ සේවක සේවිකාවන් සමාගම තුළම රඳවා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ පියවර රැසක් ගෙන ඇති අතර කෙටිකාලීනව ඇතිවන මානව සම්පත් හිඟය හේතුවෙන් සමාගමේ කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කාර්ය මණ්ඩලයට  අවශ්‍ය පුහුණුව සහ සහයෝගය නොපමාව ලබාදීමට ද පියවර ගෙන ඇතැයි සඳහන් කරයි.


රටේ වෙනත් සමාගම් සහ ආයතන මෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් ද රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශීය රටවල සේවය සඳහා  යොමුවීමේ ප්‍රවණතාවක් පවතින නමුත්, එය ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමයකට සම්බන්ධ වී නොමැති බවද සමාගම කියයි.


ඉකුත් වසර දෙක ශ්‍රී ලංකන් ගුවන් සමාගම  කිසිදු අවස්ථාවක ස්වේච්ඡාවෙන්  විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් සේවකයින් සඳහා හඳුන්වා දී නොමැති බවද සමාගම පෙන්වා දෙයි.
සාමූහික හැඟීමෙන් සහ කැපවීමෙන් රාජකාරි කරන කාර්ය මණ්ඩලයක් සමාගම සතු වන අතර , සමාගමේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා ඔවුන් විවිධ කැපකිරීම් කර ඇති බවත්, ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත් බවත් සමාගම සඳහන් කරයි.