පහළොස් දහසකට තවමත් විශ්‍රාම පාරිතෝෂිකය නෑ


 ඉන්දික හේවාවිතාරණ

පසුගිය කාලයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පහළොස් දහසකට (15.000) අධික ප්‍රමාණයකට තවමත්  විශ්‍රාම පාරිතෝෂිකය  ලබා දී නොමැති බව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කරයි.

විශ්‍රාම යන දිනට ලබන වැටුප මෙන් මාස විසිහතරක වැටුපක් පාරිතෝෂිකය ලෙස රාජ්‍ය සේවකයින්ට හිමි වන බවත්, ආදළ මුදල කොටස් වශයෙන් විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීම්  සිදුකරන බවද එම සංගමයේ ලේකම් සරත් ලාල් පෙරේරා මහතා සඳහන් කළේය.


 විශ්‍රාම යන සේවකයින්ගේ පවුල්වල වැඩ කටයුතු කරගැනීමට හෝ සෞඛ්‍ය ගැටලු විසඳාගැනීමට හෝ එම මුදල යොදා ගන්නා බවත් මීට අමතරව අදාළ මුදල බැංකුවක තැන්පත් කර පොලියෙන් ජීවත් වන පිරිස්ද සිටින බවද පවසා සිටියේය.


පාරිතෝෂිකය ලබා දීම ප්‍රමාද කලත් විශ්‍රාම වැටුප් ලබා දෙන දින සිට පාරිතෝෂිකය ලබාදුන්නා සේ සලකා වාරික අයකර ගැනීම් පවා යම් යම් අවස්ථාවල සිදුවෙන බවත්, මෙම මුදල විශ්‍රාම ගොස් කෙටිකාලයක් තුළදී විශ්‍රාමිකයින්ට හිමි විය යුතු බවද සඳහන් කළේය. එහෙත් අදාළ මුදල ලබා දීමට මාස ගණන් ගත වෙන බවත්, සමාන්‍යයෙන්  වසරකට  විසිදහසකට අධික පිරිසක්  විශ්‍රාම යන අතර, මේ නිසා අදාළ මුදල කඩිනමින් ගෙවීමට වැඩපිළිවෙළක් සකස්කළයුතු බවද සඳහන් කළේය.


 බොහෝ විශ්‍රාමිකයින්ට ලැබෙන විශ්‍රාම වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් මේ නිසා මෙවර අයවැය තුළින්  විශ්‍රාම වැටුප සැලකිය යුතු මුදලකින් ඉහළ දමන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් අයවැය තුළින් ලබා දී තිබෙන්නේ රුපියල් දෙදහස් පන්සියක මුදලක් පමණක් බවද පවසා සිටියේය.


අදාළ මුදල පවා විශ්‍රාමිකයින්ට හිමි වන්නේ අප්‍රේල් මාසයෙදී බවත් ඉහළ දමා තිබෙන මුදල, ආණ්ඩුව විසින් ජනවාරි මාසයේ සිට  භාණ්ඩ හා සේවා මත අලු‍තින් පනවා තිබෙන බදු මුදල් ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බවත් මේ නිසා විශ්‍රාම වැටුප රුපියල් හත්දහස් පන්සියක මුදලකින් ඉහළ දමන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද සිදුකර තිබෙන බවද සඳහන් කළේය.