පරිවාසේ දරුවන්ට කෑමට රජයෙන් දෙන්නේ රු.100 යි


සුජිත් හේවාජුලිගේ 

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පරිවාස මධ්‍යස්ථානවල දරුවන්ටත් නිසි පරිදි ආහාර ඇතුළු අවශ්‍ය දේවල් නොලැබෙන ත්ත්වයක් පවතින බව එම ආයතනවල පාලකයෝ පෙන්වා දෙති.


මෙම ආයතනවල එක් දරුවකුගේ ආහාර වේල් සඳහා දිනකට පළාත් සභා මගින් වෙන් කෙරෙන්නේ රුපියල් සියයක මුදලක් පමණක් බවත්  එය ප්‍රමාණවත් නොවන බවත් වාර්තාවේ. ඇතැම් පළාත් සභාවලින් ඒ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් පනහක් බව වාර්තාවෙයි. රට පුරා පරිවාස මධ්‍යස්ථානවල දරුවෝ 10700 ක පමණ පිරිසක් සිටිති.  පරිවාස මධ්‍යස්ථාන බොහොමයක් පාලනය කරනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

පරිවාස මධ්‍යස්ථාන, පළාත් සභාවේ විෂය පථයට වැටෙන්නක් වන හෙයින්  මධ්‍යම රජය කරන්නේ ඒවායේ කටයුතු සම්බන්ධීකරණය පමණක්  බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනය අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.


මේ තත්ත්වය යටතේ, පරිවාස මධ්‍යස්ථාන බොහොමයක් නඩත්තු කෙරෙන්නේ විවිධ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර යටතේ බවද  ඔහු සඳහන් කළේය.


පරිවාස මධ්‍යස්ථානවල දරුවකුගේ ආහාර වේල් සඳහා දිනකට වෙන් කෙරෙන මුදල පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන  අඩු තරමින් රුපියල් 500ක් දක්වා වැඩි කරන ලෙස එම මධ්‍යස්ථානවල පාලකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.


මවුපියන් අතහැර දමා ගිය දරුවෝ, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබන දරුවෝ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවෝ පරිවාස මධ්‍යස්ථානවල රඳවනු ලැබ සිටිති.