පර්මිට් නෑ , සල්ලි නෑ , ඡන්දෙට එන්න බෑ


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක්  විවිධ ආර්ථික ගැටලු‍ හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ  විශාල මුදලක් වැය කරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.


වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.


ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අප සමග පැවසූහ. මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය. රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යංශය තාවකාලික අත්හිටුවනු ලැබීය.


මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මන්ත්‍රී සේවා අංශයට පැමිණ  වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.


මේ අතර අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගිවීමද සීමා කර ඇතැයි වාර්තාවේ. පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත. ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති. මේ අතර මන්ත්‍රීවරුන්ගේ ගැටලු‍ කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයිද වාර්තාවේ.