පනත් දෙකක් නිසා මැතිසබය ගිනියම් වෙන ලකුණු


සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල  සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමුවර කියවීම සඳහා  ඉදිරිපත් කිරීමට නියමිත හෙයින් එදින පාර්ලිමේන්තුව දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම පනත් කෙටුම්පත් දෙකම සමාජයේ  මහත් ආන්දෝලනයට තුඩු දුන් ඒවාය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරනු ලැබීමට නියමිත අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසිනි.


ත්‍රස්ත විරෝධී  පනත් කෙටුම්පත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද එහි ඇතැම් වගන්තිවලට විපක්ෂය ප්‍රධාන විවිධ පාර්ශ්වවලින් එල්ල කෙරුණු චෝදනා හේතුවෙන් පනත් කෙටුම්පත සංශෝධනය කරන බව පවසමින්  ඉවත් කරගනු ලැබීය.
ලබන 3 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ එසේ සංශෝධනය කෙරුණු පනත් කෙටුම්පතයි.
ත්‍රස්ත විරෝධී පනතේ 5(1) 3 වැනි වගන්තිය යටතේ වරදක් කරනු ලබන, අනුබල දෙනු ලබන හෝ  කුමන්ත්‍රණ කරනු ලබන හෝ පුද්ගලයකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට අවුරුදු පහළොවක් නොඉක්මන කාලසීමාවක් සඳහා බන්ධනාගත කිරීමට හෝ රුපියල් ලක්ෂ 10 ක දඩයකට යටත් විය යුතු බව හෝ දෙයාකාරයෙන් එක් ආකාරයක දඬුවමකට යටත් කිරීමකට ත්‍රස්ත විරෝධී පනතේ දැක්වේ.


මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා  වෙනම කොමිෂන්  සභාවක් පිහිටුවිය යුතු බව  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන් වේ.


තොරතුරු තාක්ෂණය, නීතිය  පාලනය, සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව සහ තාක්ෂණය හෝ කළමනාකරණය යන  ක්ෂේත්‍ර  එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සුදුසුකම් සහ පළපුරුද්ද සහිත, ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනකුගෙන් කොමිෂන් සභාව සමන්විත විය යුතු බවද එහි දැක්වේ.
රට තුළ එදිරිවාදී සහ වෛරය හැඟීම් ප්‍රවර්ධනය කරන අයකු වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට යටත් විය යුතු අතර දෙවැනි වරට වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාර ගත කිරීමේ  කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකි බවද සඳහන් වේ.


අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම සම්බන්ධයෙන් වරදකරුවන් වෙන පුද්ගලයන්ට අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු බවද සඳහන් වේ.
මෙම පනත් කෙටුම්පත් දෙකට අදාළ ගැසට් නිවේදන පසුගියදා නිකුත් කරනු ලැබීය.