නොවැම්බරයේ සිට පැය දහයක විදුලි කප්පාදුව ස්ථිරයි ?


දයාසීලි ලියනගේ

නොරොච්චෝල තාප බලාගාරයට ගල් අඟුරු ලබා ගැනීමට අවශ්‍ය මුදල් නිසි වෙලාවට නොලැබීම නිසා නොවැම්බර් මාසයේ සිට දිනකට පැය 10ක් විදුලිය කපා හැරීමට සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ.  

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා මහ බැංකුව සමඟ සාකච්ඡා කළත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු බවය.  


කලින් ඇණවුම් කරන ලද ගල් අඟුරු නැව් 21 කඩිනමින් ලබා නොගතහොත් විදුලිය කපා හැරීම නොවැළැක්විය හැකි බව ද ඔහු කීය.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේ ගල් අඟුරු නොලැබුණොත් පැය 10ට අධික කාලයක් විදුලිය කපා හැරීම අනිවාර්යයෙන්ම සිදුවන බවය.  


ජාතික අවශ්‍යතාවෙන් සියයට 40ක විදුලිය ප්‍රමාණයක් නොරොච්චෝල බලාගාරයෙන් ලබාගන්නා බව ද ඔහු කීය. මීට අමතරව ලබන ජනවාරි සිට අප්‍රේල් දක්වා වියළි කාලගුණයක් ඇති බැවින් විදුලිය සැපයීමට එය බරපතළ තත්ත්වයක් බව ද ඔහු කීය.