නොවැම්බරයේ තේ රබර් සහ පොල් අපනයන ආදායම් වැඩි වෙලා


ඇඟලුම් සහ රෙදිපිළි ආදායම් 11.94% කින් පහත වැටිලා -රේගු දත්ත හෙළි කරයි

උපුල් වික්‍රමසිංහ

වසර 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම් අමෙරිකානු ඩොලර් මිලියන 968.8 දක්වා සියයට 4.4 න් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා රේගුවේ දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කරයි. එසේ වුව ද 2022 නොවැම්බර් මාසයේ වාර්තා කරන ලද වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව එම අගය සියයට 2.67 ක අඩු වීමක් බව ද රේගු දත්ත කියයි.

මෙරට ප්‍රධාන අපනයන වෙළෙඳ භාණ්ඩ වන තේ, රබර් සහ පොල් අපනයන ආදායම් 2023 නොවැම්බර් මාසයේදී වැඩි වී ඇතැයි කියන ශ්‍රී ලංකා රේගුවේ දත්ත, ඒ අනුව, 2022 නොවැම්ර් මසට සාපේක්ෂව මේ වසරේ නොවැම්බර්වලදී තේ අපනයන ආදායම් ඩොලර් මිලියන 112.82 දක්වා සියයට 6.78 න් ඉහළ ගොස් ඇති බව ද පෙන්වා දෙයි.  
රබර් සහ රබර් නිමි නිෂ්පාදන අපනයන ආදායම 2023 නොවැම්බර් වලදී ඩොලර් මිලියන 78.74 දක්වා සියයට 12.87 න් වැඩි වී ඇති අතර, සලකා බලන මාසයේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 21.05 න් ඉහළ ගොස් තිබේ.


ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම 2022 නොවැම්බර්වලට සාපේක්ෂව 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 395.05 දක්වා සියයට 11.94 න් අඩු වී ඇති අතර ඊට අමතරව ආහාර සහ පාන නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 43.75 දක්වා සියයට 3.34 න් ද විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයන ආදායම ඩොලර් මිලියන 37.39 දක්වා සියයට 6.55 න් ද කුළුබඩු සහ අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඩොලර් මිලියන 30.99 දක්වා සියයට 13.52 න් ද අඩු වී ඇති බව රේගුවේ දත්ත පෙන්වා දෙයි.
2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේදී සමුච්චිත වෙළෙඳ භාණ්ඩ අපනයනය 2022 වසරේ සමාන්තර කාලය සමග සැසඳීමේදී ඩොලර් මිලියන 10,878.6 දක්වා සියයට 9.64 න් අඩු වී ඇතැයි ද නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTA) හවුල්කාර රටවල් වෙත කරන ලද අපනයන 2022 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයට සාපේක්ෂව මෙම වසරේ අදාළ සමාන්තර කාලයේදී ඩොලර් මිලියන 846.45 දක්වා අඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා රේගුවේ දත්ත වැඩිදුරටත් අනාවරණය කරයි.