නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකාවේ 65 ක් ඉන්දියාවට


ගුණසිංහ හේරත්

ඉන්දියාව පාවිච්චි කර ඉවත් කරන ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනකු ඉන්දියාවට යාමට සැරසෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ හෙළි කරති.


දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පවසන ආකාරයට දුම්රිය විද්‍යුත්කරණය නිසා ඉන්දියාව පාවිච්චියෙන් ඉවත් කරන ඩීසල් එන්ජින් 20 ක් ලංකාවට පරිත්‍යාග කිරීමට ඉන්දියාව සැරසෙයි.

ලංකාවට පළමුව එවන්නේ ඉන්  එන්ජින් දෙකකි. ඒ දෙක පරීක්ෂා කිරීමට මේ 65 දෙනා යාමට නියමිත බව ද ඒ ඉංජිනේරුවෝ පවසති.  
දුම්රිය එන්ජින් 20 ක් නොව 100 ක් පරීක්ෂා කිරීමට වුවත් ටෙක්නිකල්, මැකනිකල්, ඉලෙක්ට්‍රික් සහ  සිවිල් යන ක්ෂේත්‍ර හතරෙන් ප්‍රවීණ ඉංජිනේරුවන් හතර දෙනකු පමණක් යාම ප්‍රමාණවත් බව ද ඒ ඉංජිනේරුවෝ පවසති.
ඉන්දියන් දුම්රිය එන්ජින් දිග වැඩිකම, බර වැඩිකම සහ ඇක්ෂල් ලෝඩ් සමාන නැතිකම නිසා නිතර පීලි පනින බව පෙන්වා දෙන ඒ ඉංජිනේරුවෝ ඉන්දියාව පාවිච්චියෙන් ඉවත් කරන දුම්රිය එන්ජින් ලංකාවට පිනට දෙන්නේ අමතර කොටස් අලෙවිය අරමුණු කරගෙන බව ද ඔවුහු හෙළි කරති. 


එහෙයින් ඉන්දියාව පිනට දෙන දුම්රිය එන්ජින් භාරගැනීමෙන් ලංකාවේ දුම්රිය සේවයේ පැවැත්ම ඉන්දියාව මතම තීරණය වන තත්ත්වයක් නිර්මාණය වන බව ද ඔවුහු පෙන්වා දෙති. 


අමතර කොටස් අලෙවි කරගැනීමේ අරමුණෙන් ඉන්දියාව දුම්රිය එන්ජින්  නොමිලේ දෙන උගුලට හසු නොවී ලංකාව දැනට තමන් සතු ජපන්, ජර්මන් සහ කැනේඩියන් දුම්රිය එන්ජින් නවීකරණය කරගත යුතු බව පෙන්වා දෙන ඒ ඉංජිනේරුවෝ නවීකරණයෙන් එන්ජින් අලු‍ත්ම තත්ත්වයට පත් කළ හැකි සුපිරි දක්ෂයන් රත්මලාන වැඩ පොළේ සිටින බව ද හෙළි කරති. 


2004 දී සුනාමියට හසු වූ කැනේඩියන් දුම්රිය එන්ජිම අදටත් ධාවනය කෙරෙන්නේ රත්මලාන වැඩ පොළේ කාර්මිකයන්ගේ දක්ෂතා ලොවට හෙළි කරමින් බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ පෙන්වා දෙති.