නේපාලයට සහන කණ්ඩායම් යවන්න තවම ඉල්ලීමක් නෑ ආරක්ෂක නි. ඇමැති


උපුල් වික්‍රමසිංහ

නේපාල-ටිබේට් දේශසීමාවල හටගත් දරුණු ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත් ප්‍රදේශවල සිදුකරනු ලබන සහන සේවාවන්ට සහායවීම සඳහා මෙරටින් ආපදා සහන කණ්ඩායමක් එවන ලෙස මේ දක්වා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ඉල්ලීමක් ඉදිරිපත්ව නැතැයි,

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

ඒ සඳහා රාජතාන්ත්‍රික ඉල්ලීමක් නේපාල රජයෙන් ඉදිරිපත්ව ඇත්දැයි කළ විමසීමේ දී හෙතෙම ඒ බව සඳහන් කළේ ය.

එම ව්‍යසනය හමුවේ නේපාලයේ විනාශ වූ ප්‍රදේශවල සිදුකරනු ලබන සහන සේවා සඳහා සහායවීමට ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් ද සැදුම්ලත් සහන සේවා කණ්ඩායමක් නේපාලය වෙත යැවීමට සැලසුම් කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා මීට දින කීපයකට ඉහත දී ප්‍රකාශ කර තිබිණි. 

මේ අතර ඉකුත් අගෝස්තු 28 වැනි දින නේපාල විදේශ කටයුතු  අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු නේපාලයේ ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන හෙයින්, මේ මොහොතේ විදේශ රටවල සහාය ඒ වෙනුවෙන් අවශ්‍ය නොවන බව ය.

ඉන්දියාව, චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජපානය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් තම රටවලින් නේපාලය වෙත ආපදා සහන කණ්ඩායම් එවීමට අවසර දෙන ලෙස නේපාල රජයෙන් ඉල්ලීම් කර තිබුණු බවට නේපාලයේ පළවන කත්මණ්ඩු පෝස්ට් පුවත්පත වාර්තා කර තිබිණැයි ද, රොයිටර් පුවත් සේවය අගෝස්තු 28 දින පළ කළ වාර්තාවෙන් වැඩිදුරටත් වාර්තා කර තිබිණි.