නුවරඑළියේ මන්ත්‍රී බංගලාව හිතවතුන්ට සැප ගන්න දීලා


කතානායකවරයාට පැමිණිල්ලක්   

(සුජිත් හේවාජුලිගේ)   

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක සුව ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති නුවරඑළියේ සෙන්පති නිවසේ (general's house) ලැගුම් ගැනීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් සිය හිතවතුන්ට සහ ඥාතීන්ට ලබාදීම නිසා එහි විවේක ගැනීමට යන තමන්ගේ සහ තම පවුල්වල සාමාජිකයන්ගේ නිදහසට බාධා මතුව ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර ඇත.   

මේ කාරණය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 24 වැනිදා බදාදා පැවැති ගෘහ කාරක සභා රැස්වීමේදී ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.   
ඇතැම් මන්ත්‍රීවරුන් සිය ඥාතීන් සහ හිතවතුන් නුවරඑළියේ සෙන්පති නිවෙසේ ලැගුම් ගැනීමට යොමු කිරීම නිසා එය වැළැක්වීමේ පියවරක් ලෙස එහි කාමර වෙන් කරවා ගැනීම සඳහා අදාළ මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවට වූ නියෝගයක් පාර්ලිමේන්තු බලධාරීන් විසින් පසුගියදා පනවනු ලැබීය. මෙම නියෝගය නිසා ඇතැම් මන්ත්‍රීවරුන් සිය ඥාතීන් හා හිතවතුන් සමග පැමිණ ඔවුන්ට කාමර වෙන් කරවාදීමෙන් පසු පිටව යන බව දැනගන්නට ඇත. 

 
එමෙන්ම ඈත දුර බැහැර සිටින සමහර මන්ත්‍රීවරුන් නුවරඑළියේ පදිංචි ඇතැම් මන්ත්‍රීවරුන් මාර්ගයෙන්ද සෙන්පති නිවසේ කාමර සිය ඥාතීන්ට හා හිතවතුන්ට වෙන්කරවා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 

 
සෑම මන්ත්‍රීවරයෙකුටම සිය පවුලේ සාමාජිකයන් සමග එක දිගට දින තුනක් මෙහි ලැගුම් ගත හැකි වන අතර කාමරයක් සඳහා දිනකට අය කෙරෙන ගාස්තුව රුපියල් 250කි. මෙම සෙන්පති නිවෙස පාලනය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය විසිනි.