නීතියෙන් කිසි අවසරයක් නැතත් සීසර්ලා වාහන 6000ක් උස්සලා


උපුල් වික්‍රමසිංහ

අධිකරණ ක්‍රියාමාර්ගයකින් මිස වාහන හා දේපළ අත්පත් කර  නොගත යුතු බවට පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබියදී එය නොතකා 2019 සිට මේ දක්වා කාලයේදී ලීසිං සහ කල්බදු සමාගම්වල සීසර්වරුන් විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ රථ වාහන 6000ක් සහ විවිධ දේපළ අත්පත් කර ගනු ලැබ ඇතැයි ජාතික ව්‍යාපාර නිදහස් කවය කියයි.

එම කවයේ ජාතික සංවිධායක නිරුක්ෂ නන්ද කුමාර මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ 21,000කට වැඩි සාමාජික පිරිසක් සිටින බවත්, ඔවුන්ගේ බහුතරයකට අයත් වාහන හා දේපළ මේ ආකාරයට ලීසිං වාරික නොගෙවීම මත බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවත්ය.
1990 අංක 4 දරණ ණය අය කර ගැනීමේ පනත හෙවත් පරාටේ නීතිය ප්‍රයෝජනයට ගනිමින්, ලීසිං හා කල්බදු සමාගම් මේ ආකාරයට අසාධාරණ ලෙස වාහන හා දේපළ අත්පත් කර ගිනිමින් සිටින්නේ යැයි පැවසූ ඒ මහතා, තම සංගමය මේ පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කරන ලෙස අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ දක්වා ඊට යටහපත් ප්‍රතිචාර ලැබී නැතැයිද කියා සිටියේය.


අප මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ලීසිං සහ කල්බදු සමාගම්වල සීසර්වරුන් වාහන අත්පත් කර ගැනීමේදී ඊට අදාළව පොලිස් ස්ථානයක පැමිණිල්ලක් කර පොලිසියේ නිලධාරියකුද සමග වාහන හෝ දේපළ හෝ පවරා ගැනීම සිදු කළ යුතු බවට මීට ඉහතදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කළ බවත් එම පටිපාටියෙන් බැහැරව බලහත්කාරයෙන් වාහන හෝ දේපළ හෝ පවරා ගැනීම කොල්ලකාරී ක්‍රියාවක් හැටියට සලකන බවට ඔහු එහිදී පැවසූ බවත්ය