නිසි කලට සාපෙළ , උසස් පෙළ විභාග පැවැත්වීමට පාර්ලිමේන්තුවෙන් නීතියක්


අංජුල මහික වීරරත්න

අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ  සිට නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට උපදෙස් ලබා දී තිබේ. පාර්ලිමේන්තු 


සංකීර්ණයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට මේ උපදෙස් ලබා දී ඇත.

දැනට තීරණය කර ඇති ආකාරයට මේ වසරේ විභාග පවත්වන ලෙසත්, 2024 වසරේ  විභාග ද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස්වල සඳහන් ය.


2025 වසරේ සිට නියමිත අයුරින් දරුවන්ට බරක් නොවන පරිදි විභාග පවත්වන්නට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එමෙන් ම විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියකින් ම කටයුතු සම්පාදනය කරන ලෙස ද ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට දුන් උපදෙස්වල දැක්වෙයි. එලෙස විභාග පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කළ පසු එය දරුවන්ට විභාග වලට සූදානම් වීමේ පහසුවක් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. 


විභාග පවත්වන දිනය නීතියකින් නිශ්චිත කිරීමේ දී දේශපාලන අධිකාරියට හෝ වෙනත් කිසිවකුට එය වෙනස් කිරීමට නොහැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. මෑත දිනක දී අධ්‍යාපන විශේෂඥයන් ද ජනපතිවරයා අමතමින් සඳහන් කර තිබුණේ මෙරට විභාග කල් යෑමෙන් දරු පරපුරට විදේශ විශ්වවිද්‍යාල මගින් ලැබෙන ශිෂ්‍යත්ව හිමිවීම, නිකරුණේ වයස් සීමා ගත වී යෑම ඇතුළු අහිතකර ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවන බවයි.