නිලාවේලියේ බෞද්ධ විහාරයක් ඉදිකරනවාට මගේ විරුද්ධත්වයක් නෑ


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්

උපුල් වික්‍රමසිංහ

ත්‍රිකුණාමලය, නිලාවේලි, ඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක බෞද්ධ විහාරයක් ඉදිකිරීමට තමන් විරුද්ධ නැති බවත්, ප්‍රදේශයේ ජනතාවත් සමග සාමකාමීව එම කටයුතු සිදු විය යුතු බවට තමන් විශ්වාස කරන බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ත්‍රිකුණාමලය, නිලාවේලි, ඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ ඉඩමක බෞද්ධ විහාරස්ථානයක් ඉදි කිරීමේ කටයුතුවලට විරුද්ධව පසුගියදාක එම ප්‍රදේශයේ දෙමළ ජනතාව විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර ඊට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ සහාය හිමි ව ඇති බවට පළ වෙන මාධ්‍ය වාර්තා ගැන කළ විමසීමේදී තොණ්ඩමාන් මහතා එසේ ප්‍රකාශ කළේය.


අදාළ ප්‍රදේශයේ දෙමළ ජනතාව 2000 ක් පමණ ජීවත් වෙන බව කී ඒ මහතා, එම ජනතාවගේ කැමැත්ත ඇතිව සහයෝගයෙන් මේ කටයුතු සිදු කිරීමෙන් ජාතීන් දෙක අතර සුහදත්වය වර්ධනය වෙන්නේ යැයි ද සඳහන් කළේය. නැගෙනහිර පළාතේ වෙසෙන සියලු ජාතීන් සුහදත්වයෙන් යුතුව එකට ජීවත් වෙනු දැකීම තමන්ගේ අපේක්ෂාව බවත්, ආණ්ඩුකාරවරයා වශයෙන් තමන් ඒ වෙනුවෙන් කැපවෙන බවත් තොණ්ඩමාන් මහතා කියා සිටියේය.