නියඟයෙන් බැටකන පැතිවල කෝටි දහදාහක කනකර උකස්


සුජිත් හේවාජුලිගේ

අධික නියඟය පවතින දිස්ත්‍රික්ක  පහළොවේ ජනතාව, විවිධ  ආර්ථික ගැටලු හේතුවෙන්, රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි වාර්තාවේ. 


ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

අධික නියඟ තත්ත්වය හේතුවෙන්  දිස්ත්‍රික්ක පහළොවේ  ලක්ෂ 2කට  වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිති.


සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීහු පවසති.


මේ අතර, ආර්ථික ගැටලු‍ හේතුවෙන් රටපුරා ජනතාව රුපියල් කෝටි 68,729 කට වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස්  මධ්‍යස්ථානවල උකසට  තබා  ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන  අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.


ස්වර්ණාභරණ මෙසේ උකස්  කර ඇති වැඩි පිරිසක් මධ්‍යම පාන්තික ජනතාව වෙති. කෘෂිකාර්මික  සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් ස්වර්ණාභරණ මෙසේ උකස් කර ඇති බව සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය වූයේ යැයිද මහාචාර්යවරයා කීවේය.