නියඟය උග්‍ර ප්‍රදේශවලට පානීය ජලය බවුසර මගින්


ඉන්දික හේවාවිතාරණ

වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල ගැටලුවලට මුහුණ දී සිටින ජනතාවට ජලය ලබා දීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑ දෙකක් (572) රජය වියදම් කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පසුගිය මස 01 වන දින සිට බවුසර් මගින් ජනතාවට ජලය බෙදා හරිමින් තිබෙන බවත්, මෙම කටයුතු සඳහා මේ වන විට දෛනිකව බවුසර් දෙසියකට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් තිබෙන බවද පෙන්වා දෙයි.


ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්මින් ජලය බෙදා හරිමින් තිබෙන බවත් වියළි කාලගුණ තත්ත්වය නිසා ජල හිඟයකට මුහුණු දී සිටිනවා නම් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සහන සේවා නිලධාරීන්ට දැනුම් දිය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික් 17 ක පවුල් අසූ එක්දහස් එකසිය පනස් අටකට (81,158) අයත් ප්‍රද්ගයින් දෙලක්ෂ අසූ දහස්  දෙසිය තිහක් (280,230) පීඩාවට පත් වී සිටින බවත් මෙම පිරිස්වලට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඔස්සේ ජලය බෙදා හැරීම් සිදුකරන බවද පෙන්වා දෙයි.


පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා කුඹුරු අක්කර පනස් දහකසට (50,000) අධික ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබෙන බවත් මීට අමතරව තේ වගාවන්ට මෙන්ම කෙසෙල් ඇතුළු පළතුරු වගාවන්ටද කුරුඳු, ගම්මිරිස් වැනි ස්ථිර බෝග වගාවන්ටත් හානි සිදුව තිබෙන බවද සඳහන් කරයි. ඉදිරි මාස් කන්නයේදී වී වගාකටයුතු සිදු කිරීම සඳහා බිත්තර වී වශයෙන් කිලෝ කෝටි අටකට (08) ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.


ප්‍රමිතියෙන් යුත් බීත්තර වී නොමැති වුවහොත් ඉදිරි මාස්කන්නයේදී අපේක්ෂිත වී අස්වැන්න නොලැබී යා හැකි නිසා බීත්තර වී ගැටලුව විසඳා ගැනීමට දැන්ම සිට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකොන් මහතා සඳහන් කළේය.