නැවේ ගින්න වෙනත් රටකදී වුණානම් ඩොලර් මිලියන 5000ක් වන්දි අරන්


ඛනිජ තෙල් විශේෂඥ සිරිල් සුදුවැල්ල

(දයාසීලි ලියනගේ)  

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ හානිය වෙනත් රටක සිදු වූවා නම් අඩුම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5000ක අවම වන්දියක් ඉල්ලුම් කරනු ලබන බව කාර්මික හා තාක්ෂණික ආයතනයේ උපදේශක ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ සිරිල් සුදුවැල්ල මහතා ප්‍රකාශ කළේය.  

මේ වනවිට රටට සිදුවී ඇති හානිය ගණනය කිරීම සඳහා විශේෂඥයන් යෙදවිය යුතු අතර තනතුරු මත ගණනය කිරීමෙන් රටට විශාල අලාභයක් විඳ ගැනීමට සිදුවන බව ද ඔහු කීය.  


මුහුදු පැළෑටි, මුහුදු ජීවින්, මුහුදු ජලය, ගොඩබිම ඇතුළු මෙම නැව නිසා හානියට පත් සියලු අංශ සම්බන්ධ විශේෂඥයන් මේ රටේම සිටින අතර ඔවුන්ගේ සහාය ලබාගෙන නිසි ගණනයක් කළ යුතු බව ඔහු සඳහන් කරයි.  


විවිධ තනතුරුවලට පත්කර සිටින අය විෂයට අදාළ විශේෂඥයන් නොවන නිසා ඔවුන් ලවා අලාභය ගණනය කිරීම නොකළ යුතු අතර විශේෂඥයන්ගේම සහාය ලබාගත යුතු බවත් කීය.  


මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ නාවික ආපදා පිළිබඳ ක්‍රියාපටිපාටියට අනුව මෙම ගණනය කිරීම කළයුතු බව ඔහු ප්‍රකාශ කළේය.