නායයෑම් හොයන්න හයි කරපු උපකරණ 330 න් 72 ක පණ ගිහින්


සුජිත් හේවාජුලිගේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක ස්ථාපනය කර තිබූ වර්ෂාමාන 330කින් 72ක්  අක්‍රියවී ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම වර්ෂාමාන පසුගිය වර්ෂයේදී අක්‍රියවී ඇත්තේ සේවක හිඟය සහ අනිකුත් හේතු මත නිසියාකාරව නඩත්තු නොකිරීම හේතුවෙන්  බවද වාර්තාවේ දැක්වේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එහි සේවකයන්ට නීතියට පිටින් රුපියල් කෝටියකට ආසන්න වටිනා දිරි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.


පසුගිය වසරේ ජනවාරි මස සිට අප්‍රේල් දක්වා මෙලෙස දිරිදීමනා ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ  හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හෝ  මහ භාණ්ඩාගාරයේ හෝ අනුමැතියක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.