නවවැනිදා බදු පනතෙන් බඩු මිල යලි ඉහලට?


අයවැයෙන් වැඩිකළ බදු කෙටුම්පත පාර්ලිමේන්තුවට

දයාසීලි ලියනගේ

ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බදු සංශෝධන පනත් කෙටුම්පත නිසා ජනවාරි මාසයේ සිට යළි සියලු භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි බව දේශපාලන අංශ සඳහන් කරයි. අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා අනුව මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් වෙයි. 

ඒ අනුව ආදායම් බද්ද සියයට 18 සිට 36 දක්වා ද, ලාභාංශ මත බද්ද සියයට 15 සිට සියයට 30 දක්වා ද, අපනයන බදු සියයට 15 සිට සියයට 30 දක්වා ද වැඩි වෙයි.  
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවලට අදාළව බදු සංශෝධන පනතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමත් සමඟ සියලු පාරිභෝගික භාණ්ඩවල මිල යළි වැඩිවන බවයි.  


 අපනයනකරුවන් දිරිමත් කර, රටට ඩොලර් ලබාගන්නා බව ප්‍රකාශ කළත්, අපනයන බද්ද සියයට 15 සිට සියයට 30 දක්වා වැඩි කිරීම නිසා රටට ඩොලර් ලැබීමේ අර්බුදයක් ඇතිවෙන බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.  


මීට අමතරව ලාභාංශ මත අය කරන බද්ද හා ආදායම් බදු ඉහළ යාමේ වැය බර පාරිභෝගිකයාට දරන්නට සිදුවන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.