නව නීති හැදීමට ලෝක බැංකු හා ඇමෙරිකානු ආධාර


අංජුල මහික වීරරත්න

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා ඇ​ෙමරිකානු ආධාර වැඩසටහන එකඟතාව පළ කර තිබේ.

මෑත කාලයේ විශ්‍රාම ලැබූ නීති කෙටුම්පත් සම්පාදකයන්ට සහ නීති පරිවර්තකයන්ට ලෝක බැංකුව සහ ඇමරිකා ආධාර වැඩසටහනින් වැටුප් හා දීමනා ගෙවා ඔවුන් සේවයට බඳවා ගැනීමට මෙහි දී තීරණය වී ඇත.


ලෝක බැංකු නිලධාරීන් හා ඇමරිකා ආධාර වැඩසටහනේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැත් වූ සාකච්ඡාවක දී මෙම එකඟතාව පළවී ඇත. 


ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේ මූලික පියවර ලෙස නීති කෙටුම්පත් සාම්පාදකයන්ගේ හා නීති පරිවර්තකයන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට තීරණය වී තිබේ.
නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ නව නීති සම්පාදනය කිරීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් තීන්දු වී ඇති නමුත් ඒවා කඩිනමින් ඉටු කිරීමට අදාළ පුරප්පාඩු බාධාවක් බව සාකච්ඡා විය.