දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දියකර හැරීමේ කුමන්ත්‍රණයක්


- කොමසාරිස්වරුන්ගෙන් චෝදනා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය අඩපණ කරමින් එය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය සඳහන් කරයි.

2023 ජනවාරි මස සිට ජුනි මස දක්වා කාලයේ දී අපනයන ආදායම් 10.3% කින් පහත වැටී තිබියදී ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින් රටේ ආර්ථිකයේ කොඳුනාරටිය බඳු දේශීය ආදායම් එකතු කිරීම සඳහා වූ ප්‍රධාන යාන්ත්‍රනයෙන් තුනෙන් එකක් නසා දමා කටයුතු කිරීමෙන් වන හානිය බදු කපා හැරීමෙන් සිදුවන හානියට ද වඩා බරපතළය.
2023 දී ඍණ 03%ක ආර්ථික වර්ධනයක් සමග ගමන ගමන් කරන රටක බදු ආදායම වර්ධනය කර ගැනීම සඳහා පියවර නොගැනීම බරපතළ තත්ත්වයක් බව එම සංගමය චෝදනා කරයි. දේශීය ආදායම් අණපනත් අනුව බදු ආදායම් රැස් කරන නිලධාරීන්ට බදුගෙවන්නන් හා ඔවුන්ගේ හිතවතුන් කරන තර්ජන, බලපෑම් දිගින් දිගටම සිදුවන බවද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයකු විශ්‍රාම ගිය විට අලුත් අයකු පත් කිරීම කල් මැරීමද කෙටිකාලීනව වෙනස්වීම්වලට ලක් කරන සංකීර්ණ බදු ක්‍රමයක් පවත්වාගෙන යෑම ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දියකර හැරීමේ ක්‍රියාදාමය තහවුරු කරන්නක් බව කොමසාරිස්වරුන්ගේ සංගමයේ චෝදනාවයි.


මේ සම්බන්ධයෙන් දේශීය ආද‌ායම් කොමසාරිස්වරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ ‘‘2017 වසරේ IMF මගින් හඳුන්වා දුන් දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු නවීකරණ කටයුතුවලට රජය හා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හා සහාය ලබා නොදී එයින් වන හානිය දෙපාර්තමේන්තුවේ වරදක් ලෙස පෙන්වා දෙයි. දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව පහත හෙළමින් ස්ථාවර දිගුකාලීන බදු ප්‍රතිපත්ති පවත්වාගෙන යාමට අනුබල නොදෙයි. දෙපාර්තමේන්තුවේ උග්‍ර සේවක හිඟයක් පවතී. පද්ධති සංවර්ධනයට මිස ආදායම් රැස් කිරීම සඳහා නිලධාරීන්ගේ කාලය පලදායි ලෙස යොදවා ගැනීම අසීරු වී ඇත.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ක්‍රියාත්මක කළ මූල්‍ය ඒක්‍රාගතාව හා මූල්‍ය විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය  ව්‍යුහාත්මක වෙනස්කම් සිදු නොකෙරේ. දැනට පුරප්පාඩු වී පවතින කොමසාරිස් ජනරාල් පුරප්පාඩුව සඳහා පිළිගත් ක්‍රමවේදය යටතේ සුදුස්සකු පත්කර නිසි ඉලක්කයක් කරා යා හැකි වැඩ පිළිවෙළක් සකස් කිරීමට රජය මැදිහත් නොවේ.


මෙහි ප්‍රතිඵලය වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අක්‍රිය වීමය.