දේශපාලකයන් මොනවා කීවත් පැය 5ක විදුලි කප්පාදුවක සේයාවක්


දයාසීලි ලියනගේ

නොරොච්චෝල බලාගාරයේ අනිවාර්යයෙන් සිදුකළ යුතු යන්ත්‍ර අලු‍ත්වැඩියාව සඳහා වූ අමතර කොටස් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැතිවීමත් ගල් අඟු‍රු ලබා ගැනීමට ඩොලර් මිලියන 650ක මුදලක් නොවීමත් නිසා විදුලිය කපා හරින කාලය තවත් පැය 5 කින් පමණ ඉහළ දැමීමට සිදුවන තත්ත්වයක් උදාවන බව වාර්තාවේ.


මේ වනවිට ගබඩා කර තිබෙන ගල් අඟු‍රු තොග අවසන්වීමට පෙර එනම් සැප්තැම්බර් 15 වැනි දිනට පෙර අලු‍තෙන් ගල් අඟු‍රු ලබා ගැනීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් විය යුතුව ඇතත් මෙතෙක් ඒ කාර්යය ඉටුවී නැති බව ලංවිම විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.   


විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් තරම් නොලැබීම මත විදුලිය කපා හරින කාලය තවත් දීර්ඝ වනු ඇතැයිද ඔවුහු සඳහන් කරති. වසර 5 කට වරක් නොරොච්චෝල බලාගාරයේ අලු‍ත්වැඩියා කටයුතු කළ යුතුව ඇති අතර ඒ සඳහා එක් එක් යන්ත්‍රය මාස 2 කට වැඩි කාලයක් විදුලි නිෂ්පාදනය අත්හිටුවනු ලබයි.   
මේ වනවිට මෙරට විදුලි නිෂ්පාදනය සියයට 58ක ප්‍රමාණයක් සිදුවන්නේ ජල විදුලියෙනි.